කඩවත ගනමුල්ල මාර්ගයේ වැලිපිල්ලෑව හන්දියට නුදුරින් පිහිටා තිබෙන තෙදවත් මන්දිරයකි.වසර සියයකට ආසන්න පැරණි සුවිසල් වෘක්ෂ ගහණයකින් වටවී ඇති හෙයින් මාර්ගයට පැහැදිලිව දර්ශනය වන්නේ මන්දිරය මධ්‍යයෙන් නැගී ඇති ශ්වේත වර්ණාකාර සමචතුරස්‍රාකාර කුළුණ පමණකි .ගලහිටියාව,පරකන්දෙණිය, කොස්සින්න,අමුණුගොඩ, සූරියපාලුව වැනි ගනේමුල්ල අවට සුන්දර ගම්මාන රැසකටම ආභරණයක් බඳු මේ සුන්දර පහය නිර්මාණය කරන ලද්දේ වාසල මුදලි දොන් ගාබ්‍රියෙල් කුමාරසිංහ ජයකොඩි විසිනි.වර්ෂ 1871දී ගනේමුල්ලේ මහවලව්වත්තේ ඉසුරුමත් වලව් පවුලකටම දාව උපන් ගාබ්‍රියෙල් තරුණයා තම සිත්ගත් එංගල්තිනා වැලිවිට(ම.1942) නම් තරුණිය සමග වූ ප්‍රේම බන්ධනයට දෙමාපියන් විරුද්ධවූ නිසාවෙන් රු.50ක් පමණක් අතේ අතැතිව වර්ෂ 1890ට ආසන්න කාලයේ නිවසින් පිටමං වීය.එතැන් සිට තම සහකාරිය සමග ජීවන ගමන අරඹාදක්ෂ තරුණ ව්‍යවසායකයෙකු ලෙස සුළු පරිමාණ ව්‍යාපාරයන්හී යෙදී සිටි
ඔහු “ගබන් අප්පුහාමි” ලෙස ප්‍රසිද්ධ විය.

මේ අතර බ්‍රිතාන්‍යයින් විසින් කඳුකරයේ වගාකල කෝපි,තේ ආදී වගාවන්හී ඵලදාවන් කොලඹට ගෙනඒමට අශ්ව කෝච්චිය ප්‍රමාණවත් නොවූ නිසා සථිර දුම්රිය මගක් ඉදිකිරීම වර්ෂ 1858දී ආරම්භ කෙරිනි.මංගල දුම්රිය ගමන ආරම්භ වී ඇත්තේ 1864 දෙසැම්බර් 20 වෙනිදින අඹේපුස්ස දක්වාය.මේ අයුරින් ප්‍රසාරණය වූ ලංකා දුම්රිය සේවයට 1895 වෙරළ දක්වා දුම්රිය මාර්ගය, 1905 උතුරු දුම්රිය මාර්ගයේ, 1914 මන්නාරම මාර්ගය, 1919 කැළණි වැලි මාර්ගයේ, 1926 පුත්තලම මාර්ගය සහ 1928 දුම්රිය මාර්ගය මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වා යන දිගුකිරීම් එකතු කෙරිණි.මේ දුම්රිය මාර්ග සංවර්ධනයට සිල්පර කොටන් සැපයීමේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස දොන් ගාබ්‍රියෙල් ජයකොඩිද එක්විය.ව්‍යාපාරයේ දක්ෂයෙක් වූ ඔහු කලට වේලාවට තම කාර්‍යයන් නිම කිරීමෙන් රජයේ විශ්වාසය දිනාගත්තේය.කොන්ත්‍රාත් ව්‍යාපාරවලින් සපයාගත් මුදල් නැණවත්ව රේන්ද ව්‍යාපාරයේ සහ විශාල පොල් ඉඩම් මිලදීගැනීමට යෙදවූ ඔහු ධන කුවේරයකු බවට පත්විය.කුලියාපිටියේ නාරංගල්ල, ඇපලදෙණිය,පූගල්ල,යාය,බරිගොඩ,පිදුම සහ බෝහින්ගමුව යන වතු‍‍‍‍‍‍‍යායන් ඇතුලු අක්කර දහස් ගණනක ඉඩම් ඔහු සතුවිය.එම ඉඩම් වල පොල් වියලා කොප්පරා බවට හැරවීමේ මහා පරිමාණ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගිය ගාබ්‍රියෙල් මුදලිගේ කොප්පරා ස්ටෝරු පිහිටා තිබුණේ කොලඹ ග්‍රෑන්ඩ්පාස්හීය.

වර්ෂ 1920 දී ගම්පහ ගනේමුල්ලේ තම නිවස ඉදිකිරීමට පටන් ගත් ඔහු 1925 පමණ වනවිට එහි ඉදිකිරීම් අවසන් කලේය.මෙහි ගෘහනිර්මාන ශිල්පියා මුස්ලිම් ජාතිකයෙකු ලෙස සැලකේ.මේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පැමිණි කම්කරුවන් වැඩ නිමවීමට ගතවූ වසර පහක පමණ කාලය නිමවන තෙක් අවට ඉඩමේම තාවකාලිකව පදිංචිකොට ඇත. කඩවත ගනේමුල්ල මාර්ගයට මායිම්ව ඉදිවූ ‘ජයකොඩි වලව්ව’ අක්කර ගණනාවක් වූ විශාල බිම්කඩක ඉදිකොට තිබිණි.පෙළින් පෙළ කරඬු නැගුණු ආරුක්කු හැඩයගත් නූස් නමුත් අලංකාර ගරාදි තාප්පයකින් මාර්ගයට මායිම්වූ මේ ප්‍රතාපවත් ප්‍රාසාදය ධවල වාර්ණිත බිත්ති, උඩුමහලෙන් එලියට පැන ඇති පියස්සෙන් යුත් කුඩා බැල්කනි ,උඩුමහල් දරාගත් විශාල කුළුණු ,ලී සහ යකඩ කැටයම් ගරාදියෙන් වටවූ සොල්දර සහ ලංකාවේ අනෙකුත් කිසිම වලව්වක නොදක්නා ලද ගොඩනැගිල්ල මධ්‍යයෙන් අහසට නගිනා උස්වූ සමචතුරස්‍රාකාර කුළුනකින්ද සමන්විතය.මේ මන්දිරය පිණිසම නිර්මාණය කල කළුවර ආදී වටිනා දැවයෙන් නිර්මිත ගෘහභාණ්ඩයන්හී ජයකොඩි පවුලේ සංකේතය වන “ජය” යන සලකුණ යොදා ඇත.මින් සමහර භාණ්ඩ ජයකොඩි මුදලි විසින් එංගලන්තයේ සමාගම් විසින් වලව්ව වෙනුවෙන්ම නිර්මාණය කොට ආනයනය කල ගෘහභාණ්ඩය.වර්ෂ 1980 දී ආරම්භ කල ශ්‍රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ කඳවුර පිහිටා ඇති ඉඩමද ,ගනේමුල්ලේ පහල යාගොඩ ජයකොඩි වත්ත, ගනේමුල්ලේ ජයකොඩි මහා විද්‍යාලය වැනි ඉඩම් පෙර ජයකොඩි වලව්ව සතුව තිබූ ඉඩම්‍ ය.කාලානුරූපව මේ අයුරින් බෙදීගිය ජයකොඩි වලව්වේ ඉඩම් වලින් වලව්ව පිහිටි ඉඩම පමණක් මේ වනවිට ඉතිරිව තිබේ.

දොන් ගාබ්‍රියෙල් ජයකොඩිට එවක බ්‍රිතාන්‍ය කිරීට ආණ්ඩුව විසින් වර්ෂ 1922 ජූනි මස 03 වෙනිදින මුහන්දිරම් පදවියද 1940 ජූනි 13 වෙනිදින වාසල මුදලි පදවියද ප්‍රධානය කොට තිබේ.ගාබ්‍රියෙල් සහ එංගල්තිනා ජයකොඩි යුවලට වර්ෂ 1901 ජනවාරි මස 21 වැනිදින පුතෙක් උපන් අතර පවුලේ එකම දරුවාවූ ඔහුට දොන් එඩ්වින් කුමාරසිංහ ජයකොඩි යනුවෙන් නම් තැබිණ.කොලඹ වෙස්ලි විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු මාතර අමරසිංහ පවුලේ තරුණියක වූ සිරිදත්තා අමරසිංහ සමග විවාපත් විය. ඔවුන්ට පිරිමි දරුවන් දෙදෙනෙක් සහ ගැහැණු දරුවන් පස්දෙනෙක් ලෙස දරුවන් සත් දෙනෙකි.මෙයින් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙක් අවාසනාවන්ත ලෙස අකාලයේ මියගිය අතර ඉතිරි දරුවන්ගෙන් වැඩිමහල් දියණිය වූ හේමකාන්තා ජයකොඩි කටාන රණසිංහ පවුලේ සේනක රණසිංහ සමගද,දෙවැනි දියණිය රම්‍යකාන්තා ජයකොඩි හොරණ දොස්තර පී.ආර් වල්පිට සමගද තෙවැන්නා වූ දියණිය හේතුමතී ජයකොඩි ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු අමාත්‍ය රූපා කරුණාතිලක සමගද විවාහ විය.පවුලේ සිව්වැන්නා වූ කමලවර්ණ කුමාරසිංහ ජයකොඩි පුත්‍රයා විවාහවූයේ කෑගල්ල මීදෙණිය පවුලේ කාන්ති මීදෙණිය සමගය.පවුලේ පස්වැන්නා සහ බාලයා වූ ජයස්විනී ජයකොඩි දියණිය බලන්ගොඩ දොස්තර නිහාල් මහවලතැන්න ජයවර්ධන සමග විවාහවිය.

ජයකොඩි පවූල විසින් සමාජසේවා කටයුතු වෙනුවෙන් නොයෙකුත් පරිත්‍යාග කොට ඇති අතර දොන් ගාබ්‍රියෙල් ජයකොඩි මුදලි විසින් තමාගේ බණ්ඩාරවෙල පිහිටි පවුලේ නිවාඩු නිකේතනය දෙවෙනි ලෝක යුධ සමයේ බණ්ඩාරවෙල විශාඛා බාලිකා විද්‍යාලය පවත්වාගෙන යාම සඳහා ලබාදී ඇත.එඩ්වින් කේ ජයකොඩි මහතාගේ බිරිඳවූ සිරිදත්තා ජයකොඩි මහත්මිය වර්ෂ 1960 මාර්තු මස 19 දින පැවැත්වූ මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට චන්ද 9042ක් ලබාගත් නමුත් පාර්ලිමේන්තු වරම් අහිමිවිය.ඇය විසින් කිරින්ද මහා විහාරය,විජිතපුර විහාරය,යුඳගනාව විහාරය සහ ඇල්පිටිය විහාරමහාදේවී පිරිවෙණ යන විහාරයන්හී ඉදිකිරීම් කොට ඇති අතර වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලය ඉදිකොට පරිත්‍යාග කොට ඇත.ඇය විහාරමහාදේවී කුලඟන සමිතියේ නිර්මාතෘ වන අතර කොලඹ හිටපු නගරාධිපති එම්.එච් මොහොමඩ් විසින් කොලඹ වික්ටෝරියා උද්‍යානය විහාරමහාදේවී උද්‍යානය ලෙස නම්කලේද ඇයගේ ඉල්ලීම නිසාය.

දොන් කමලවර්ණ කුමාරසිංහ ජයකොඩි මහතා වර්ෂ 1937 ඔක්තෝම්බර් මස 20 වෙනිදින උපත ලද අතර කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ කොලඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මහර ගම්කාර්‍ය සභාවට තරඟකොට එහි සභාපති ධුරයට පත්විය.තවදුරටත් දේශපාලනයේ නියැලුණු ඒ මහතා 1983 මහ මැතිවරණයේදී මහර ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකොට චන්ද 29944ක් දිනාගෙන පාර්ලිමේන්තුවට ඇතුලත්විය.ගනේමුල්ල වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලය එතුමාගේ ඉඩමක ඉදිකොට පරිත්‍යාග කොට ඇත.

ජයකොඩි වලව්වේ නිර්මාතෘ වාසලමුදලි ගාබ්‍රියෙල් ජයකොඩි වර්ෂ 1951 මැයි මස 12 වැනිදින අභවාප්ප්‍රාප්ත විය.ඔහුගෙන් පසු ජයකොඩි වලව්වේ හිමිකාරීත්වය පැවරුණු එඩ්වින් ජයකොඩි මහතා 1981 පෙබරවාරි මස 21 දින අභවාප්ප්‍රාප්ත විය.ජයකොඩි පරපුරේ වලව්වේ අවසන් හිමිකරු වූ කමලවර්ණ ජයකොඩි මහතාද වර්ෂ 2007 ජූනි මස 17 වැනිදින අවසන් ගමන් ගිය හෙයින් වලව්වේ වර්තමාන භාරකාරිය ලෙස ඔහුගේ බිරිඳ වන කාන්ති ජයකොඩි මහත්මිය වාසය කරයි.

මුහුණු පොතෙන් ගැනීමකි,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here