පියයුරු පිලිකාව ගැන සැබෑ සිදුවීමක්… කියවා තබා ගැනීම කාගෙ හරි ජීවිතයක් බේරාගැනීමට වැදගත්වේවි…මුලින්ම කියන්න ඕනෙ මම එච්චර සංවේදී මනුස්සයෙක් නෙමෙයි. ඒ කොහොම උනත් මනුස්සයෙක් වෙච්චි නිසාම මමත් සංවේදි වුනු අවස්ථා කීයපයක් තියෙනවා. මේ මමත් සංවේදී වුනු ඇත්ත කතාවක්. අපි වෛද්‍ය ශිෂ්‍යයන් විදියට ලබන සායනික පුහුණුවෙදි මූලිකවම කරන්නෙ රෝගී පුද්ගලයන් අධ්‍යනය කිරීම. පොත් වලට වැඩිය අපි ඉගෙන ගන්නෙ ඔවුන්ගෙන්. ඉතින් ඒ නිසා අපිට වාට්ටුවෙන් රෝගී පුද්ගලයන් තෝරා දෙනවා. දින කිහිපයකට කලින් මට එලෙස වෙන්කර දෙන ඇයට අපි ෆාතිමා යැයි කියමු. (නම මනඃකල්පිතයි) ඇය අවුරුදු 38ක දෙදරු මවක්. ඉතාමත් දීප්තිමත් නෙත් යුගලක් සහා කුඩා ශරීයයක් හිමි ඇය මුව ආවරණයෙන් වසන් කල නොහැකි වූ සිනහවකින් මාව පිලිගනු ලැබුවා. මා හඳුන්වා දීමටත් මත්තෙන් ඇය මා ප්‍රශ්න කරනු ලැබුවා. “සර් ද මාව බලන්නෙ?” යැයි අසමින්. මා වාට්ටුවට යන විටත් මගේ සායනික කණ්ඩායමෙ අනිත් පිරිස තමන්ට හිමි රෝගින් සමග සාකච්ඡා කිරීම අරඹා තිබූ නිසා ඇතැම් විට ඇයට අමුත්තක් දැනෙන්නට ඇති; “මාත් එක්ක කවුරුවත් කතා කරන්න එන්නෙ නැද්ද?” යන සැකය සමගින්. ඇය එතරම් අසනීප ස්වරූපයක් නොපෙන්වූ නිසා මට සතුටක් දැනුනා. මොකද එවැනි අවස්ථාවක විශේෂඥ වෛද්‍යවරයා විසින් මාව වැඩිදුර ප්‍රශ්න නොකරන නිසා. ඉතින් මා හඳුන්වාදීමෙන් පසුව මම ඇගෙන් විමසනවා සායනික ඉතිහාසය පිලිබඳව.*මාස තුනකට කලින් ඇය වම් පියවුරේ රතුපැහෑ වීමක් දකිනවා. ඒ ඇය ස්නානය කරන අවස්ථාවක . අතින් අල්ලා බලන ඇයට කුඩා ගැටිත්තක් තිබෙන බව දැනුනත් ඇය එය නොසලකා හරිනවා. *සතියක් ගත වන විට වම් පියවුරේ බර ගතියක් සමග යම් වේදනාවක් ඇයට දැනෙනවා. එයත් නොසලකා හරිනවා.*ඊළග සති දෙකක කාලය තුල වම් පියවුර දකුණු පියවුරට වඩා විශාල වෙනවා. නිපල් එක තරමක් ඇතුලට ගිලී යනවා. පියවුරේ සම රට දොඩම් ගෙඩියක පොත්තක ස්වභාවය ගන්නවා. මම අහනවා ඇයගෙන් ඇයි මේ තරම් වෙනසක් වෙලත් වෛද්‍යවරයෙක් හමුවෙන්න නොගියේ? ඇය සිනහ මුසු මුහුණින් පවසනවා කාටවත් මේවා පෙන්නන්න බෑනෙ සර් . මහත්තයත් ඉන්නෙ රට. අම්මත් නෑ. මම තාත්තට කිව්වා. අපි එන්න හිටියේ ඉස්පිරිතාලෙ ට. හරියටම ඒ සතියේ තාත්තා පපුවෙ අමාරුවක් හැදිලා මැරුණා. එයාට කොරෝනා කියලා මරනෙටවත් යන්න උනේ නෑ. ඊට පස්සෙ අපි කොහේවත් ගියේ නෑ. යන්න එපා කිව්වා. Quarantine ! 😥

ඇය මුල් හඳුනා ගැනීමෙ සිට මාස තුනක් කිසිදු වෛද්‍ය අධීක්ෂණයක් රහිතව නිවසෙහි රැඳී සිටිනවා.*රෝහලට පැමිණෙන විට වේදනාවක් සහිත වම් පියවුර පුරාම විහිදුනු විශාල ගෙඩියක්, දකුණු පියවුරේ ත් තවත් කුඩා ගැටිති දෙකක්, වම් කිහිල්ල ආශ්‍රිතව වේදනාවක් සහිත ගැටිති කිහිපයක් තිබුණා. නමුත් තවමත් ඇගේ ඇස් දීප්තිමත්. ඉතා නිරෝගි පෙනුමක්. අවසානයේ ඇය මගෙන් ප්‍රශ්න දෙකක් අහනවා.1. ඔපරේෂන් කරද්දි මට රිදෙනවද?2. පොඩි පුතාට අවුරුදු 3යි. මට ඉක්මනට සනීප වෙලා ගෙදර යන්න පුලුවන් නේද?සායනික ඉතිහාසය සහා සායනික පරීක්ෂාවෙන් (history & examination ) පසු මට වැටහුනු වඩාත් වියහැකි තත්ත්වය පැතිරුණු පියවුරු පිලිකාවක් උනත් ඒ වන විටත් කිසිදු පරීක්ෂණ ප්‍රතිපලයක් නොතිබූ නිසාත් , ඇය කිසිවක් නොදන්නා නිසාත් ඒ පිලිබඳව කිසිවක් නොකියන මම “ඔපරේෂන් එක කරද්දි ඔයාට රිදෙන්නෙ නෑ. ඊට පස්සෙ ඉක්මනට සනීප වෙලා ගෙදර යන්න පුලුවන්.” කියලා ඇයට ස්තුති කරමින් මම සමුගන්නවා. විශේෂඥ වෛද්‍යවරයා විසින් මාව වැඩිදුර ප්‍රශ්න නොකරනු ඇතයි මුලින් සිතූ නමූත් එය එදා ප්‍රධාන මාතෘකාව බවට පත් වෙනවා. ඔහු අප සමගින් ඒ පිලිබඳව දීර්ග සාකච්ඡාවක් කරමින් උගන්වනවා. අවසානයේ ඔහු කියනවා එය පියවුරු පිලිකාවක් බවත් ඉතාමත් වේගයෙන් ශරීරය පුරා වයාප්ත වී ඇති බවත් මේ තත්වය මත ඇය සුව කල නොහැකි බවත්.නොරිදෙන ශල්‍යකර්මයකින් පසුව ඉක්මනින් සනීප වී ගෙදර යාමට හැකියැයි කියා මා විසින් සැනසූ ඇයට තවත් කොපමණ දින ගනනක් ඉතිරි වී ඇත්දැයි මා නොදනිමි. කිසිවෙකු දකින්නට පෙර සීරුවට පිසදාගත් කඳුලක් සහිතව මම වාට්ටුවෙන් පිටවුණෙමි. නේවාසිකාගාරයට පැමිණ මම අම්මාට ඇමතුමක් ගතිමි. “අම්මේ පියවුරු වල මොකක් හරි වෙනසක් තියෙනවද ?” යැයි ඇසූවෙමි. අම්මා එය විහිලුවට ගත් නිසා ටිකක් සැරෙන් ඇසූවෙමි. මුකුත් නැතැයි සැකහැර දැනගන්නා තෙක් මොකද්දෝ මූසල කමක් මට දැනුනි. සරලවම ඒ අපේ අම්මලාගෙ හැටිය. ශ්‍රී ලාංකික ගැහැණිය තවමත් නොවිය යුතු සංස්කෘතික රාමුවක කොටු වී ඇත. පිරිමි අපද ඊට වගකිව යුතුය. “තනය” කිරි වලින් මුදා ගත් කල ලිංගිකය. ප්‍රසිද්ධියෙ කතා කිරීම අසභ්‍ය ය. කියන්නට ඇති ලැජ්ජාව නිසා අපේ අම්මලා දහසකුත් ලෙඩ හංගති. අපේ ගැහැණිය අසරණය. සනීපාරක්ෂක තුවායක්, රතු පැහැති තන පටයක් , හැඩ දැමූ යට ඇඳුමක් නිදහස්ව තෝරාගත නොහැකි සමාජයක මේවා බලාපොරොත්තු විය යුතුය. සියල්ල වෙනස් කල නොහැකි බැවින් කියවන ඔබෙන් යමක් ඉල්ලමි. පුතෙක් නම් අහන්න අම්මගෙන්. දුවෙක් නම් අහන්න අම්මගෙන්. සැමියෙක් නම් අහන්න බිරිඳගෙන්. “පියවුරු වල වෙනදට නැති වෙනසක් තියෙනවද? දැනෙනවද? ” කියලා.
සැක නම් ලඟම වෛද්‍යවරයා හමුවන්න. හෙට නෙමෙයි, දැන්ම අහන්න. .☝️

සටහන – මලිත් සුගන්ධික

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here